12/12/2024
මං දන්නේ නෑ මේක මේ ගෲප් එකට ගැලපෙනවද කියලා ,
ඒත් මට මගේ හිතේ තියෙන පීඩනය තවත් කෙනෙක් එක්ක කියලා , හිත හැදෙන එකම එක වචනයක් හරි අහන්න ඕනී.
ඒකයි දාන්නේ.
මට ගොඩක් දේවල් තිබුනේ නෑ. ඒත් උපරිම සතුට තිබුනා, දුවයි ,පුතයි, හස්බන්ට් මං සතුටින් තියෙන හැටියට ජීවත් උනේ.
අපි හිටියේ හස්බන්ට් ගේ මහ ගෙදර , අපි ඒක ලෝන් එකක් දාලා අලුත් වැඩියා කරගෙන ජීවත් උනේ.
ඒත් හස්බන්ට් ගේ අක්කා එයාගේ මහත්තයා එක්ක රන්ඩු වෙලා ඒ ගෙදර ආවා.
සතියකට ආව ඒ අක්කා අන්තිමට එයාගේ මහත්තයත් නවත්තගෙන මාස ගනන් ඉද්දි , අපිට එකට ඉන්න අමාරු උනා, දරුවෝ දරුවෝ රන්ඩු වෙද්දී, හැමවෙලේම ගේ ඇතුලේ රන්ඩු ඇති වෙද්දි , හරියට පාරක් වත් නැති මගේ කඩා වැටෙන්න ගිය මහා ගෙදරට ආවේ ඒකවත් හදා ගන්න හිතන්.
ඒත් ඒ හැමදේම නැත්වතුනේ, උපත් පාලනයක් කරද්දිත් මං ප්‍රෙග්නට් උනාම.
අවුරුදු තුනේ දුවයි, අවුරුදු හයේ පුතයි , එක්ක කිසිම දෙයක් නැති අපි හොදටම අසරන උනා.
ඒ අසරන කම තවත් වැඩි උනේ, ඒ අස්සෙම හස්බන්ට් ඇක්සිඩන් වෙලා මාස ගානක් වැඩක් කරන්න බැරි උනු නිසා.
ජීවීතේ උපරිම දුක හොදටම වින්දා, හා තවත් විදිනවා. වේලක් ඇර වේලක් දරු දෙන්නට දීලා අපි නොකා හිටිය දව්ස් අනන්තයි.
අමාරුවෙන් එකතු කර ගත්තු හැමදේම නැති වෙද්දි ඇත්තටම අපි ජීවත් උනේ පැටව් නිසා.
අන්තිමට හස්බන්ට් තීරණය කරා කොරියන් එක්සෑම් කරන්න.
ලෝන් එකක් අරන් ,පාස්ප්‍රෝට් හදලා , එක්සෑම් දැම්මා.
දවල්ට සිමැන්ති අනලා, රෑ ඇවිත් එලි වෙනකම් පාඩම් කරා.
මැයි මාසේ මට තවත් දුවෙක් ලැබුනා, අඩු බර , අනේ හරිම ලස්සන දුවෙක්.
ඒත්...
ප්‍රශ්න ,, ඒවා එහෙම්මමයි.
ඒ දුවත් එක්ක අපි තව්ස්ත් අසරන උනා.
එයා මාසයක් ගානේ රත්නපුර හොස්පිටල් එකට පෙන්නන්න ඕනී උනා, පුතා ඉස්කෝලේ වියදම් අහස උසට ගියා. දෙවනි දුවගේ බර හොදටම අඩු උනා.
දෙවනි දුවට සෙම වැඩිවෙලා හොස්පිටල් නවත්තපු නිසා සල්ලි නැතුව ෆෝන් එක විකුනපු නිසා හස්බන්ට් ට ඔන්ලයින් ක්ලාස් යන්න බැරි උනා. යාලුවෙක්ගෙන් නෝට් අරන් විභාගේ ලිව්වත් ලකුනු මදි උනා.
තිබුනු එකම බලාපොරොත්තුව ඒක.
දැන් ඉස්සරහා ගැන හිතන්න බෑ අපිට..
මේ හැමදේම නිසා, මට මේවා දරා ගන්න අමාරුයි.
පුතා ඉස්කෝල් වැඩ වලට දුර්වලයි කියලා ටීච කියනවා
ඇත්ත..
එයා ක්ලාස් එකකට යවන්න මට අමාරුයි.
එකක් මුදල් ප්‍රශ්න.
ඒක කොහොම හරි හොයා ගත්තත් යන්න අමාරුයි . මොකද මං ඉන්නේ බස් එකක් වත් දුවන්නේ නැති පාරක් තියෙන ගමක.
අපේ ගමේ ඉදන් බස් එන පාරටම රු.450 ක් වීල් ගාස්තු , මාස 5 බබයි, අවුරුදු තුනේ දුවයි අරගෙන මට පයින් දරුවා පංති අරන් යන්න බෑ.
ඉතිං ටීචර් ඉක්මනින් උගන්නගෙන යද්දී එයාට අල්ල ගන්න අමාරුයිලු.
හැමදාම ඉස්කෝලේ යන්නේ,යන්න බෑ කියලා අඩ අඩා යන්නේ,
ගෙදරදී මට කියා දෙන්න තියා හිතන්නවත් බෑ. චූටී බබා මුලු දවසෙම අඩනවා. බිම ඉන්නේම නෑ, දෙවනි කෙනත් එහෙමයි. එයා කැමති නෑ , මං චූටී බබා වඩාගන්නවට,
ඒත් මොනා කරන්නද,
චූටී බබා අඩු බර බබෙක්.
මගේ කිරි මදි කියලා , කිරි පිටිත් දෙනවා.
ඒත් බර වැඩි වෙන්නෙම නෑ. තැබිලි පාට තීරූවේ යන්නේ,
ඒ පීඩනයයි ,
දෙවනියාත් දැන් අඩු බරේ යන්නේ, අපි නොකා හරි, අපි ලමයින්ට හොද දේ දෙනවා.
ඒත් එයාට කවන්න මට වෙන්නේ නෑ.
එක්කෝ එයා ඉල්ලද්දී දෙන්න වෙන්නේ නෑ. චූටී බබා අඩනවා.
මට එතකොට පිස්සු වගේ.
මේ හැම පීඩනේම නිසා මං දරුවන්ට කෑ ගහනවා.
සමහර දවස් වලට මං උදේට දත් මදින්නේ මහ රෑට.
කන්නේ දවසට 1 පාරයී.
කන්න නම් නැතත් කමක් නෑ පීඩනයක් නැතුව ඉන්න තියේනම්.
වෙලාවකට රෙදි කදු පිටින් ගොඩ ගැහිලා.
චූටී බබා දවසෙම අඩනවා.
දෙවනියත් එහෙමයි.
පුතා ගේන්න ඒ දෙන්නත් අරන් මගට යන්න ඕනී.
අපේ ගේ තියෙන්නේ කුබුරක.
වැස්ස දවසට කූඩැල්ලෝ ඇග පුරා දරුවෝ අරන් එද්දී.
ඉදලා හිටලා එන හස්බන්ට් ගේ අය, ගේ අස් කරලා නෑ, මිදුලේ කුනු රොඩුගගා අඩුපාඩු කියද්දී ඊට වඩා කේන්තී.
මේ දේවල් කියන්න කෙනෙක් නෑ.
හස්බන්ට් 2000 පඩියට වැඩ කරාට යන්න එන්න 500 යනවා දවසට.
ඒ නිසා එයා පැය ගානට රෑට ෆැක්ටරි එකක වැඩ කරනවා.
ඒ තරම් මහන්සි වෙලා එද්දී මේවා කියන්න හිතෙන්නේ නෑ.
ඒ මදිවට තුන්දෙනා හැමදාම සෙම.
පුතාට සෙම වැඩි උනාම හතිය හැදෙනවා.
එතකොට මට පුදුම අනුකම්පාවක් අපි ගැන එන්නේ.
දරුවෝ පව්.
ඒත් මට දරා ගන්න අමාරුයි මේ හැමදේම .
අපිට කියලා තිබුනුඑකම වටිනම දේ උනු හස්බන්ට් ගේ බයික් එක ෆිනෑස් ඇරියස් වෙලා ෆිනෑස් එකෙන් හොයන් එද්දී,
අමාරුවෙන් තියා ගත්තු දරුවන්ගේ පංචායුද පවා අසනීප වලදි බැංකු වලට සින්න වෙද්දි ,
අපේ අනාගතේ ගැන, දරුවන්ගේ හෙට දවස ගැන හිතද්දී....
මොනා කරන්නද තේරෙන්නේ නෑ.
නින්දක් වත් නැතුව මං කොයි මොහොතෙත් හිතන්නේ මේ දේවල්.
අනේ පුලුවන් කෙනෙක් කියන්න මගේ හිත හැදෙන්න දෙයක්වත්.
ස්තූතියි 🙏