22/05/2026
පිටිකිරි වෙනුවට එළකිරි බොන ජාතියක්...👊
ලෝකයේ ඇති පෝෂ්‍යම දියර වර්ගවලින් කිරිවලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. "කිරි" යනු ක්‌ෂීරපායි ගණයට අයත් ගැහැණු සතුන්ගේ තනපුඩුවලින් නිකුත් කෙරෙන සුදු පැහැති ද්‍රාවණයකි. ලා බාල අවධියේදී ළමුන් හෝ පැටවුන් පෝෂණය කරන්නේ මෙම කිරි වලින්ය. කිරි සම්පූර්ණ ආහාරයක් ද වන්නේය.
කිරි සංඝටකයන් තුනකින් සෑදුණු මිශ්‍රණයකි. ඒවානම් ජලය, මේදය සහ මේද රහිත ඝන ද්‍රව්‍යයන් වේ. මේදය කොටස් දෙකකට වෙන් කර ඇත. එය නම් තථ්‍ය මේද සහ ක්‌ලෙස්‌රෝල්, ලෙසනින් විටමින් වැනි අනෙකුත් ද්‍රව්‍යයන්ය. මේදය රහිත ඝන ද්‍රව්‍යයන්හි ලැක්‌ටෝස්, නයිට්‍රජනීය ද්‍රව්‍ය, ප්‍රෝටීන් නොවන නයිට්‍රජන් ඛනිජ, එන්සයිම, සහ බැක්‌ටීරියා වැනි ද්‍රව්‍යයන් අඩංගුවේ.
අලුත උපන් ළදරුවකුට උපතේ සිට මාස හයක් (6) යනතුරු මවුකිරි ලබා දෙන ලෙස වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඒ ක්‍රමයෙන් වැඩෙන ළදරු ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක මව්කිරිවල පමණක් අඩංගු වී ඇති නිසාය.
එළදෙනක් පැටවකු බිහිකිරීමත් සමගම මුල් දින හත (7) තුළ පැටවාට අවශ්‍ය "කිරි" සම්පූර්ණ ප්‍රමාණය උරා බීමට ඉඩ හැරීමෙන් පැටවාගේ වර්ධනයට අවශ්‍ය "කිරි" ලබා දෙනු ඇත. ළදරුවකුගේ වර්ධනයට මවු කිරි අවශ්‍ය වනවා සේම වැස්‌සි පැටවාගේ වර්ධනයට ද "මුල් කිරි" ප්‍රමාණය අවශ්‍ය වේ.
වයසින් අවුරුද්ද සම්පූර්ණ කළ දරුවන්ට මෙන්ම ළමා, තරුණ, වැඩිහිටි, මහලු කා හටත් භාවිත කළ හැකි පානයක් (ආහාරයක්) ලෙස කිරි හඳුන්වා දිය හැකිය. එළ ගවයන්ගෙන් ලබා ගන්නා "කිරි" නැවුම් එළකිරි වශයෙන්ද, යෝගට්, පාශ්චරීකරණය කරන ලද කිරි, ජීවානුහරණය කරන ලද කිරි, මුදවන ලද කිරි, බටර්, එළඟි තෙල්, චීස්, කිරිපිටි හා අයිස්‌ක්‍රීම් ආදී වශයෙන් සකස්‌කර ගනියි.
එළකිරි යනු පානයක්‌ම නොව ආහාරයකි. සත්ත්ව හා ශාකමය ආහාර අතරින් ශරීරයට අවශ්‍ය සියලුම පෝෂක සපයන එක් ආහාර කාණ්‌ඩයක් ලෙස ද කිරිවලට වැදගත් තැනක් හිමිවේ. කිරි දියරමය ගතියෙන් යුක්‌ත නිසාත් පහසුවෙන් ජීර්ණය හා අවශෝෂණය සිදුවන නිසාත් බාල මහලු කා හටත් සුදුසු පෝෂ්‍යදායී පානයකි.
නැවුම් එළකිරිවලට ආවේණික සුවඳක්, වර්ණයක් හා රසයක් ඇත. මෙම වර්ණය ලැබී ඇත්තේ එහි දියවී ඇති ප්‍රෝටීන හා කැල්සියම් ලවණ නිසාය. කිරි යනු ජලය හා ඝන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වී සෑදුණු සංකීර්ණ මිශ්‍රණයකි. මෙහි කාබොහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, ඛනිජ ලවණ, විටමින් සහ විවිධ එන්සයිම දියවී පවතී. කාබොහයිඩ්‍රේට් ලෙස ප්‍රධාන වශයෙන් ඇත්තේ ලැක්‌ටෝස්‌ය. ප්‍රෝටීන් ලෙස කේසින්, ඇල්බියුමින් හා ග්ලොබියුලින් අඩංගු වේ.